2017/04/27

පත්තෑයාගේ කතන්දරය | මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි.

=========================================================
නිවේදනය යි!
මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි.
=========================================================

01. පත්තෑයාගේ කතන්දරය.

පහුගිය කාලේ ආණ්ඩු කරපු පක්ෂය පරාජය කරන්න විපක්ෂය ගෙනගිය ප්‍රචාරක වැඩ අතර රන් ආභරණ උකස් කරපු නෝනා මහත්තුරුන්ගේ අවධානය දිනාගන්න පොරොන්දුවකුත් තිබුනා. ඒ, ඔවුන් ප්‍රකාශ කළ වටිනාකමට අඩුවෙන් රන් ආභරණ උකස් කර තිබූ අය ට පනවා ඇති පොලී මුදල් කපා හරින බව.

ආණ්ඩු මාරුවෙන් ටික දිනකට පස්සේ මම කතා කලා අපි රන් ආභරණ උකස් කරලා තිබුනු බැංකුවට. කතා කරලා විස්තරේ ඇහැව්වා.

මෙන්න මැනේජර් නෝනා මෙහෙම කියනවා,

‘‘එහෙම කරන්න මුදල් අමාත්‍යංශයෙන් අදාල පොලී මුදල් කපලා දාන්න කියලා චක්‍රලේඛණයක් එවන්න ඕන. ඒක තාම අමාත්‍යංශයෙන් මෙහෙට මන්දු කරලා නැහැ. ඒක නිසා මහත්තයා ඕවා ගැන බල බල ඉන්නැතුව පුලුවන් ඉක්මනින් මේ බඩු ටික බේරගන්න.....“

ඔය විස්තරේ මම හාමිනේට කිව්වා.

ඒ පාර හාමිනේ කියනවා,

‘‘එහෙනං ඉතිං අපි උකස් කරලා තියෙන රත්තන් බඩු වලින් කොටහක්වත් බේරගමු නේද?“ කියලා.

මම,

 “එහෙනං එහෙමවත් කරමු“ කියලා බැංකුවට යන්න හදද්දි හාමිනේ මට කතා කළා.

"බඩු ගද්දි අර පත්තෑයා වගේ බ්‍රේස්ලට් එක මතක් කරලා අරගෙන එනවද?"

‘‘ඕක මොකද්ද?“ මම කිව්වා.

මම බැංකුවට ගිහින් මූලික වතාවත් ටික හමාර කලාම බැංකු මහත්තයා බඩු ටික මේසෙට දාලා ඇහැව්වා මහත්තයාට දැන් මොකද්ද ඕන කියලා.

මම කිව්වා,

“අපේ හාමිනේ කිව්ව පත්තෑයා වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක අරගෙන එන්න කියලා....!“

බැංකු මහත්තයා රත්තරන් බඩු ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කලා. බ්‍රේස්ලට් එක හොයලා දුන්නා.

ආන්න එතකොට එයාගෙ සහායිකාව දවල් බතට ගිහිල්ලා එතෙන්ට ආවා.

"මේ මහත්තයාගේ නෝනා කිව්වලු, පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක බේරගෙන එන්න කියලා... මම ඒක හොයලා දුන්නා..... රමණි මිස් ඉතුරු වැඩ ටික කරලා දෙන්න මේ මහත්තයට එහෙනං...... මම ලන්ච් එක අරගෙන එන්නම් ටක් ගාලා....." බැංකු මහත්තයා අර නෝනා ඉඳගන්නත් කලින් කිව්වා. 

බැංකු නෝනා ත් හා කියලා බාගයක් ඉවර වුනු වීදුරු වතුර බෝතලේ එයාගේ පුටුව ලඟින් තියලා කෑම පෙට්ටිය රාක්කෙ හැංගුවා.

බැංකු මහත්තයා,

 "එහෙනං මේක අරං යන්න පුතේ....!" කියලා කෑමට නැගිට්ටා.

මමත් ඉතුරු වැඩ අහවර කරලා ගෙදර ආවා.

ගෙදර ආ හැටියේ මම සාක්කුවෙන් ඇදලා බැංකුවේ ඉටි බෑග් එකේ ම දාගෙන ආපු බ්‍රේස්ලට් එක එයාගේ අතේ තිබ්බා.

හාමිනේ ඒක දැක්ක ගමන් මෙහෙම කිව්වා,

"ආනේ.... මේ තියෙන්නේ... ඔයා හරිය ට ම ගෙනල්ලා.....  කොච්චර කාලෙකට පස්සෙද මේක දැක්කේ?"

ඉතින් මට හරිම සතුටු හිතුනා. හාමිනේ කියපු විදිහට ම වැඩේ සිද්ද වුනු නිසා. මොකද බ්‍රේස්ලට් එකක් කවදාවත් පත්තෑයෙක් වගේ හදන්නේ නෑ.  නමුත් හාමින්ලා කියන දේ නිවැරදිව තේරුම් ගන්න අපට තියෙන්න ඕන එකම දේ ස්ථානෝචිත ප්‍රඥාව. ඒක මට හොඳම එකෙන් තියෙනවා කියලා එදා මම දැනගත්තා. ඒ නිසා හැමදේම සතුටින් අවසාන වුනා.

================================================

02. ඇත්ත කතන්දරය.

සිද්දියක් කතන්දරයක් වෙද්දි මූලික සිදුවීමට කොච්චරනම් දේවල් සිද්ද වෙන්න පුලුවන්ද?

ලෝ පතල චිත්‍රපටික් වුනත් හැදෙන්න අඩිතාලම වැටෙන්නේ සිද්ද වුනු පුංචි සිදුවීමක් නිසා වෙන්න පුලුවන්.  කලින් කිව්වා වගේ සිදුවීමක් කතාවක  ට ගොඩ නගද්දි පොඩි පොඩි වෙනස්කම් කරන්නේ හේතු ඇතුව. හේතුවක් ඇතුව කතාවක සිදුවීම් වෙනස් කළාම ඒකට පැහැදිලි අර්ථයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට මෙහෙම කරන්න වෙන්නේ අපි කතාවක් ඉදිරිපත් කරන අරමුණ මොකද්ද, ඉදිරිපත් කරන්නේ කා උදෙසා ද වගේ දෙවල් වෙනුවෙන්. මම ඔය ඉහලින් දක්වපු කතාව ඉදිරිපත් කරන්නේ ලෝකය තවත් ලස්සන කරන්න තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙය වන ලෝකයේ සියලුම බුද්ධිමත් සැමියන් ට. ඒක නිසා මම ඇත්ත කතාව පොඩ්ඩක් වෙනස් කලා.

මෙන්න මෙහෙම!

මම මුලින්ම බැංකුවට ගියානේ, ගිහින් ඒ වතාවත් හමාර කලාම බැංකු මහත්තයා බඩු ටික මේසෙට දාලා ඇහැව්වා මහත්තයාට දැන් මොකද්ද ඕන කියලා.

මම කිව්වා,

“අපේ හාමිනේ කිව්ව පත්තෑයා වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක අරගෙන එන්න කියලා....!“

කතාවේ තියෙන්නේ මම එහෙම කිව්වා ම බැංකු මහත්තයා රත්තරන් බඩු ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කලා. බ්‍රේස්ලට් එක හොයලා දුන්නා කියලා. ඒත් එහෙම වුනේ නෑ.

මොකද ඒ මහත්තයා රත්තරන් බඩු ටික මේසේ උඩ දිග ඇරියම එතන පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් තිබුනේ නෑ. සමාවෙන්න! හිටියේ නෑ. ඒ පාර මම ඇඹරෙනවා දැකලා උකස් මහත්තයා ඇහැව්වා,

‘‘ඇයි මහත්මයා....“ කියලා.

මම කිව්වා,

“අපේ හාමිනේ කිව්වනේ පත්තෑයා වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක අරගෙන එන්න කියලා....!“

ඒක අහලා උකස් මහත්තයාගෙ බඩේ සමනල්ලු පියාඹන්න ඇති. මොකද එහෙම එකක් එතන නෑනේ. බාග වෙලාවට එයා බැංකුවේ ආරක්ෂාව උනත් සැකය ට භාජනය කරන්න ඇති. සාමාන්‍යයෙන් උකස් බඩු බේරගන්න රාජකාරිය එහෙම ඕනාවට එපාවට කරන්නෙ නෑ. නූලට කරන්නේ. එකක් එහේ මෙහෙ වුනොත් ප්‍රශ්ණ කෝටියයිනේ!

කොහොමහරි අපි දෙන්නා වැඩි සද්ද බද්ද නැතුව සමගි සමාදානයෙන් පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් හොයා ගන්න හිතට දහිරිය ගත්තා. බැංකු මහත්තයත් මගේ තියෙන වැදගත් පෙනුම දැකලා රත්තරන් බඩු ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරලා පත්තෑයා හොයන්න ඉඩ දුන්නා. මොකෝ බැංකු මහත්තයත් බැංකු මහත්තයෙක් උනාට පිරිමියෙක්නේ. මොන සෙල්ලම් දැම්මත් අපි දෙන්නාටම බැරි උනා එතන පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් හොයාගන්න. ආන්න එතකොටයි එයාගෙ සහායිකාව දවල් බතට ගිහිල්ලා එතෙන්ට ආවේ. නැතුව බේස්ලට් එක හොයා ගත්තට පස්සේ නෙමෙයි උන්දැ සැපත් වුනේ. 

ඊට පස්සේ සිද්දවුනු සේරෝම දේවල් මම කපලා දැම්මා. මේ තියෙන්නේ ඒ කපලා දාපු ටික.

ඔය විදිහට බැංකු නෝනා කොටු සර්වියට් එකේ ඔතාපු හිස් කෑම පෙට්ටියයි, බාගයක් ඉවර කරපු වීදුරු වතුර බෝතලෙ යි අරගෙන එතෙන්ට ආවා. ඔන්න ඔය වෙලාවෙයි මගේ හිතට, හපුතලේ කන්ද අදින කොටන් ලොරියක් වගේ හිමීට හිමීට ස්ථානෝචිත ප්‍රඥාව ඇතුල් වෙන්න ගත්තේ. 

ඉතින් මම කෝකටත්,

''මහත්මයා අපි අර මිස්ගෙන් වත් උදව්වක් ගමුද?" කියලා බොහෝම ගරුසරු ඇතිව යෝජනා කලා. බැංකු මහත්තයට ඒ යෝජනාව මොන අස්වැසිල්ලක් වෙන්න ඇතිද? එයා ගත් කටට ම,

"මේ..... රමණි මිස්, මේ මහත්තයා ඇවිල්ලා ඉන්නේ, එයාගේ නෝනා ගේ බ්‍රේස්ලට් එකක් බේරගෙන යන්නලු..." කියලා අර නෝනා ඉඳගන්නත් කලින් එස්.ඕ.එස්. නිවේදනයක් නිකුත් කලා.

"ඉතින්.... දැං මොකද්ද ප්‍රස්නේ?" ඒ නෝනා බාගයක් ඉවරවුනු වීදුරු වතුර බෝතලේ එයාගේ පුටුව ලඟින් තියලා කෑම පෙට්ටිය රාක්කෙ හංගන ගමන් අපෙන් ඇහැව්වා.

ඒ අල්ලපනල්ලේ මම මැදට පැන්නා,

"මේ අපේ හාමිනේ කිව්වා මට මෙතන පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක බේරගෙන එන්න කියලා..... වැඩේ කියන්නේ අපි දෙන්නට ම පත්තෑයෙක් වගේ එකක් පේන්න නෑනේ......!"

"ඇයි නැත්තෙ....!“ නෝනා මහ පුදුම හිතෙන කතාවක් කියාගෙන අපි ලඟට ම ආවා.

“මේ තියෙන්නේ... මේක තමා... මහත්තයා මේක අරං යන්න...." නෝනා බඩු දිහා පොඩි බැල්මක් දාලා ස්ථීරසාර තීරණයකට ආවා. අපි දෙන්නා පුදුම වුනා.

ඒ පාර මහත්තයා කිව්වේ මෙන්න මෙහෙම,

"එහෙනං මේකවත් අරං යන්න පුතේ....!"

කියපු සේරෝම දේවල් කපාගෙන ඇවිල්ලා ඊලඟ ට මම ඇතුලත් කලේ ඔය අන්තිම වාක්‍ය ය. හැබැයි මම ඔතනත් පොඩි වෙනස් කමක් කලා. මහත්තයා කිව්වේ, “මේකවත් අරං යන්න පුතේ....“ කියලා. බැංකු මහත්තයත් ඒ වෙලාවේ හොඳටෝ ම අසරණ වෙලා හිටියේ කියලා ඒ කියමනෙන් මට දැනුනා. එයාට මං ගැනත් අනුකම්පාවක් හිතෙන්න ඇති. ඉතින් මම ඒක, ‘‘මේක අරං යන්න පුතේ.....“ කියලා වෙනස් කලා. අර්ථය සුමට කරලා මුඛ්‍ය තේමාවට හානි නොවෙන්න කියලා.

ඊලඟට මම නැවත වතාවක් බ්‍රෙස්ලට් එක දිහා බැලුවා. පත්තෑයෙක් අරගෙන කකුල් උගුල්ලලා, ඔලුව කඩලා වල්ගේ කපලා බැලුවත් මේ බ්‍රෙස්ලට් එක සතා ලඟින්වත් යන්නේ නෑ.

මගේ සේරෝම බලාපොරොත්තු නැති වුනා. දැන් හාමිනේ අහන ප්‍රශ්ණ වලට මම මොනවද දෙන උත්තර. “ඔයාට ඒකවත් හොයාගන්න බැරි වුනාද?“ වගේ උත්තර නැති ප්‍රශ්ණයක් එහෙම ඇහැව්වොත්. මොකද එයාට එහෙම අහන්න සාධාරණ හේතු මෙතන තියෙනවා. ඒත් දැන් කරන්න දෙයක් නෑ. රමණි මිස්ගේ තීරණයට අපි කාටත් හිස නමන්න වුනා. අන්තිමේ මම රමණි මිස් පෙන්නපු බ්‍රේස්ලට් එක අරගෙන ගෙදර ආවා.

‘‘බ්‍රෙස්ලට් එක හොයාගන්න පුලුවන් වුනා ද?‘‘ මහන්සි ද කියලා අහලා, ඒ පිටට ම තියලා හාමිනේ මගෙන් ඇහැව්වා. ඒ වාක්‍යත් මම අයින් කළා. මොකද ඒ වාක්‍ය යෙන් ගම්‍ය වන යටි පෙළ මට එච්චර ඇල්ලුවේ නෑ. මොකද මේ කතාවෙන් කියවෙන්න ඕන ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු බුද්ධිමත් සැමියන් ගැනයි.

‘‘ඔව්. ඔයා හිතන්නේ මට ඕක හොයාගන්නත් බෑ කියලද?“ මම කෙලින් උත්තර දුන්නා. ඊලගට මම සාක්කුවෙන් ඇදලා බැංකුවේ ඉටි බෑග් එකේ දාගෙන ආපු බ්‍රේස්ලට් එක එයාගේ අතේ තිබ්බා.

"ආනේ.... මේ තියෙන්නේ... ඔයා හරිය ට ම ගෙනල්ලා.....  කොච්චර කාලෙකට පස්සෙද මේක දැක්කේ?" ඒ ටික නම් ඇත්තම ඇත්ත! ඒක නිසා ඒ කොටසින් මම කතාව ඉවර කලා.

ඔන්න දැක්ක ද ගැණු මොලේ කොතනත් වැඩ කරන්නේ එක ම තාලෙට. ඒක බැංකුව, ගෙදර, නාන තොට කියලා වෙනස් වෙන්නේ නෑ. නැත්තම් රමණි මිස්ටයි, හාමිනේටයි දෙන්නටම කොහොමද ඒ බ්‍රේස්ලට් එක පත්තෑයෙක් වගේ පේන්නේ.

කොහොමහරි ඇත්ත කතාව ඔය විදිහට ඉවර වුනා.

හරි! දැන් පොඩ්ඩක් හිතලා බලන්න. මම අර වෙලාවේ අපට බ්‍රේස්ලට් එක හොයලා දෙන්න කියලා රමණි මිස්ට යෝජනා නොකළා නම් මොකද වෙන්නේ.

ආන්න ඒකයි ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ.

කතාව ඉවරයි. ගන්ඩ තියෙන ආදර්ශයක් තියෙනවානම් ගන්ඩලා!

...................................................
 - යූරෝ දෙකේ වීරයා


 ================================================
වෙන වැඩ නැත්තම් බ්ලොග් වසන්තයට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ඉදිරිපත් කළ "හිනා මූණ!" බ්ලොග් ලිපිය කියවලා බලන්න.

චූටි මහත්තයා කියන්නේ මීට දශක දෙකහමාරකට විතර කලියෙන් පෘථිවිය විශාල වස්තුවක්ව නිස්කලංකව ඉර වටේ භ්‍රමණය වෙන කාලේ, ගතවෙන කාලය ගැන වද නොවී හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කළ, ඒ කාලයේ ජීවත් වුනු සුවහසක් දරුවන්ගෙන් කෙනෙක්.

"හිනා මූණ" කතන්දරයෙන් කියවෙන්නේ කාලෙකට පස්සේ චූටි මහත්තයගේ ඉස්කෝලෙට අලුතෙන් ආපු තරුණ ඉංග්‍රිසි ගුරුතුමික් ගැනයි.
================================================

23 comments:

  1. මේ සමස්ථ කතාවෙන්ම පේනවා යුරෝ දෙකේ වීරයා කවදාවත් රත්‍රං බඩුවක් උගස් තියන්නවත්, නිදහස් කරගන්නවත් බැංකුවකටවත්, උකස් බඩු ගන්නෝ කෙනෙක් ගාවටවත් ගිහින් නෑ කියන එක.

    ඔහොම තොග ගනනින් රත්‍රං බඩු උකස් ගන්න/නිදහස් කරණ බැංකු කොහෙද තියෙන්නෙ ? ඒ කියන්නේ කිහිපයකින් එකක් ‍තෝරලා "එහෙනම් මේකවත් අරන් යන්න පුතේ" කියලා දෙන බැංකු !? අනේ මංදා !!

    ReplyDelete
    Replies
    1. බඩු කීපයක් එකට ති‍යල තියෙනවනං අපි ගෙවන වටිනාකමට ගැලපෙන එකක් තෝරගන්න අවස්ථාව දෙනව.

      Delete
  2. සේරම බේරගන්න සල්ලි නැති උනාම, කොටහයි බේර ගන්නේ, එතකොට ඒ වටිනාකමට හරියන අපි කැමති දෙයක් ගන්න බැරිද? අම්මපා මෙහෙමත් සාමාන්‍ය දැණුමක් නැති මිනිස්සු. ඒ උනාට මොකද ගවේෂණය කරන්නේ අඩි 33000 උඩින් යන අහස් නැව් ගැන....

    ReplyDelete
    Replies
    1. ඔය යුරෝ දෙකේ වීර මහතැන් දැනගෙන හිටියත් ඇල්බට් අයින්ස්ටයින් දොරේ හිල් දෙකක් කැපුවා කියලා ලොකු පූසටයි, පොඩි පූසටයි ආදී වශයෙන්..ඔය ලොකු ලොකු වැඩ වැඩ කරණ අයට චූටි චූටි දේවල් මතක් බැරිවෙනවා... එහෙනම් !

      Delete
    2. සෙන්නා, අනික තමුන්නැහේ හිතන්න එපා තමුන්නැහේලා වගේ කරාඹු ජෝඩුවක්, චේන් කෑල්ලක් උකස් කරලා ඒවා බේරන්න යනවා කියලා. අපි එකපාර රත්තරන් කන්දක් උකස් කරනවා. ආන්න එතකොටයි, සේරෝම මේසේ උඩ හලලා තොරගන්න දෙන්නේ.... ආන්න එතනයි තමුන්නැහේට වැරදුනේ, තමුන්නැහේ හිතුවේ අනුන්ගේ බඩුත් මේසෙට හලලා එව්වා අතපත ගාලා අපේ පත්තෑයා තොරා ගන්න කිව්වා කියලා... නේද? ප්‍රසන්නයා සාක්ෂියට නොහිටින්න මම බොරු කාරයා වෙනවා! :D

      Delete
  3. චුටි මහත්තයා ඔහේට කියන්න මගේ ගාව තිබ්බා චේන් එකක් එකේ ඩිසයින් එක කියලා කිව්වේ "වී කරල" අනේ මන්දා මට නම් එහෙම "වී කරලක්" එකේ පේන්නේ නැහැ.හැබැයි අපේ "සුදු" නම් කියන්නෙම එක "වී කරල" ඩිසයින් එක කියලායි.ඒ විතරක් නෙමේ චුටි මහත්තයෝ දැන් අවුරුද්දකට කිට්ටු වෙන පවුල් ජිවිතයේ අත්දැකීම් තුලින් ඉගෙන ගත්තු දෙයක් තමයි අපිට වරදින්න පුළුවන් උනත් ඒයාලට වරදිනවා කියන්නේ වෙන්න බැරි දෙයක් කියලා හිටං.ඉතින් ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කරලාඒ වගේ අවස්ථාවල එයාලට දිනුම දෙන එක තමයි මම කරන්නේ.මොකද යුද්දේ කරද්දී වුනත් පොඩ්ඩක් උපායශීලි විදියට පසු බහින්න වෙනවානේ.

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවාද? මට පේන්නේ චූටි මහත්තයා කතා වලට වඩා, සැමියන්ට ටැට්ටිස්" කියලා පොතක් ගැහුවොත් හොඳා වාගේ...

      Delete
    2. අන්න කරනවා නම් වැඩ.:D

      Delete
  4. බොට ඊට පස්සෙ කරන්න තිබ්බ හොඳම දේ උනේ පත්තෑයෙක් අල්ලගෙන ඇවිල්ල ගෙදර උන්දැට පෙන්නන එක. ආන්න ඒවටයි ස්තානෝචින පඤ්ඤාව කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අද්දැකීමෙන්ද කියන්නෙ

      Delete
  5. ඔය නොපළඳින රත්තරන් උගස් තියලා පොලී ගෙවන්නේ ඇයි. විකුණලා දාලා ඒ සල්ලි පොලියට දෙන්න පුළුවනි නේ

    ReplyDelete
    Replies
    1. ඕං කිව්වා කතාවක්!

      Delete
  6. පත්තෑයා පැත්තක ඉන්දෙද්දි "අපේ නෝන ඉල්ලුවොත් දෙන්න" කියල අර බැංකු නෝනගෙ ටෙලිෆෝන් නොම්බරේ ඉල්ලගත්තනන් ඔන්න ස්ථානෝචිත ප්‍රඥාව කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක රජේ බැංකුවක් :D

      Delete
  7. කාන්තාවන් සමාව ගන්නෙ, සොරි හැබැයි වැරැද්ද මගෙ නෙමෙයි කියල ලු. අපි නම් දන්නෑ ඕවා :)

    ReplyDelete
    Replies
    1. එහෙම හරි ගන්නවානම් අපි සතුටු වෙමු!

      Delete
  8. මම අද ඩුබායි වට්ටක්ක බ්ලොග් එක ලියන පුතාට මෙහෙම උපදෙසක් දුන්න.

    හොඳ පවුල් ජීවිතයකට අන්‍යොන්‍ය ගරු කිරීම ඉතාම වැදගත්.

    දැන් බලන්න, නෝන මොනහරි කිව්වම මම එයාගෙ අදහසට ගරු කරල එකන්නග වෙනව.

    මම මොනවහරි කිව්වම, එයත් එහෙමයි ( ඉඳ හිට ). එහෙම නොවී එයා එකඟ නැත්තන්, මම නෝනගෙ අදහසට ගරු කරල එකඟ වෙනව.

    ReplyDelete
    Replies
    1. අද දේශණයකට ගියා. ඒ මහත්තයා කිව්වා ලෝකය වෙනස් කරනවට වඩා අපි වෙනස් වෙන එක ලේසියි කියලා :D

      Delete
  9. (සිත නිවන කතා)

    වෙලාවකට හිතෙනවා කමෙන්ට් අඩුවෙන් ලැබුනම කොච්චර ලේසිද කියලා? විනාඩි පහෙන් උත්තර දීලා ඉවරයි සේට්ටම...

    (සිත නිවන කතා)

    ReplyDelete
  10. මේකට කමෙන්ට් කරන්න කම්මැලි හිතුන බං...
    මම කවදාවත් ඔය උකස් වැඩ වලට සම්බන්ධ වෙන්නේ නැති නිසා කවදාවත් ඔය වගේ ප්‍රශ්න වලට මුණ දෙන්න වෙලා නැහැ...
    සියළු වගකීම් ඇය සතුය, එනිසා මම නිදහස්ය...

    ReplyDelete
    Replies
    1. වාසනාවත්න සැමියෙක් :D

      Delete
  11. ඇයි ඔච්චර හොයන්න අමාරු, රිසිට් නම්බර් එක ගහල පැකට් කරල නෙවෙයිද තිබ්බෙ , සාමාන්‍යයෙන් එහෙමනෙ තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එක පැකට් එකේ ගෙගාඩක් තිබුනම හොයන්න අමාරුයි. අනික පත්තෑයෙක් හොයන්න ඕන :D

      Delete

ඔබේ පංගුව...