2011/08/29

සිත්තර ප්‍රථිපල ආවා.....| පාඩම් රැසක් ඉතිරි කරමින් සයිබර් යාය සිත්තර තරගය නිමාවිය

සයිබර් යායේ පවත්වපු සිත්තර තරගය ඊයේ හවස හරියට හතරට අවසන් උනේ අපිට කවදාවත් අමතක නොවන කාටවත් මකන්න බැරි මතක ගණනාවක් වගේම පාඩම් ගණනාවකුත් ඉතුරු කරගෙනයි.

මේ වගේ සිත්තර තරගයක් කවදාහරි තියන්න මම කාලෙක ඉඳලයි බලාගෙන හිටියේ. ඒ සිත්තර අඳින්න කොච්චර ලේසිද, වගේම කොච්චර අමාරුද කියලා කාටත් දැනගන්නත් එක්කලා.

ඒ ඔක්කොම දේවල් වලට පාර කැපුනේ එදා මම දාපු නෙක්ටෝ ලියමනෙන්!

කොහොමහරි එදා අපි සිත්තර තරගෙ තිබ්බා.

මේ තියෙන්නෙ ඒ සිත්තර තරගෙ නිල ඡන්ද ප්‍රතිඵල.

1. පුසා මාමා (ඡන්ද 114)

2. පොඩ්ඩි නැන්දා (ඡන්ද 101)

3. හා පැටික්කී නැන්දා (ඡන්ද 67)

4. කතන්දර මාමා (ඡන්ද 52)

5. උන්නැහේ මාමා (ඡන්ද 50)

6. හර්ෂණ මාමා (ඡන්ද 44)

7. නීතා නැන්දා (ඡන්ද 37)

8. ගිතික මාමා (ඡන්ද 28)

9. මකර අධිරාජ්‍යයා මාමා (ඡන්ද 13)

මේ අනුව පොඩ්ඩි නැන්දත් එක්කලා තියුණු තරගෙකින් පස්සෙ පුසා මාමා විසින් මේ සිත්තර තරගෙ ජයග්‍රහණය අයිතිකරගත්තා.

ඒ අනුව පූසා මාමට කෙහෙල්කොටුවේ චුටි මහත්තයා අභියෝගතා කුසලානය සමග වටිනා ත්‍යාගයක් හිමිවෙනවා.

පූසා මාමට අපෙන් උණුසුම් සුබ පැතුම්!

ඊලගට තිබුනේ ඒ සිත්තර සඳහා හොඳම විචාරය දෙන කෙනාව තෝරගන්න එක. කුදු රම්බෝ! ඒක නම් හරිම අමාරු වැඩක් උනා. විචාර වල හොඳකම කියන්නෙ මේ වෙනකම් වත් මේකයි හොද එක කියලා මට තෝරගන්න බැරි උන එකයි. ඒත් මම පුලුවන් තරම් ඉක්මනට එකත් කියන්නම්කො.

මේ සිත්තර තරගය අපිට ඉතුරු කරපු පාඩම්

මේ සිත්තර තරගෙන් අපිට කොච්චර පාඩම් ගානක් ඉගෙන ගන්න තිබුනද කියලා මුල ඉදලා සයිබර් යාය ඡන්ද පොලේ හිටපු අයට මම අමුතුවෙන් කියන්න ඕන්නැ. ඒත් මම ඇවිල්ලා සයිබර් යායේ ම්හ්හ්......හ්මු හින්දා ඒ ගැන නිළ වශයෙන් දෙයක් කියන එක මගේ යුතුකම.

මේ සිත්තර තරගෙ දිහා මුල ඉදලා බලාගෙන හිටපු කෙනෙකුට තරගකරුවන්ගේ නොපසුබසින උත්සහය, කල්‍යාන මිතුරු ඇසුරේ අගය, වගේම වැඩවසම් සමාජ ක්‍රමයේ විවිධ සෙවනැලිද පැහැදිලිව දැක්කා කියලා හිතෙනවා.

හැබැයි කතන්දර මාමයි, උන්නැහේ මාමයි, හර්ෂන මාමයි නම් කිසිම ප්‍රචාරක වැඩසටහනක් කරා කියලා කොතනින් වත් හොයා ගන්න බැරි උනත් ඒ ගොල්ල අනිත් අයත් එක්ක කරට කර හිටියෙ පිලිවෙලට ඡන්ද 52, 50, 44 ක් විදිහට ලකුනු අරගන්න ගමන්.

ගීතික මාමත් වෙන දේ බලගෙන හිටියා කියලයි මට හිතුනේ. හැබැයි නීතා නැන්දානම් හොරාට හොරාට ඡන්ද ප්‍රචාරක වැඩ කලා කියලා හිතන්න අපිට සාක්ෂි තියෙනවා. මේ තියෙන්නෙ ඒ වගේ එකක්. මෙයාගෙ හිත නීතා නැන්දා වෙනස් කරලා.

මං හිතුවා ඉතිං නිකං තියෙන මගෙ ඡන්දෙත් දීලා දාන්ට.. ඕක වෙන කවුරුහරි දැම්මොත් හෙම..

1. නීතා

2. නීතා
3. නීතා

(ඔන්න මං ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා, මේ ඡන්දය දැමීම වෙනුවෙන් මට කිසිම ආකාරයේ බලපෑමක් -ඊමේල් මාර්ගයෙන් හෝ වෙනයම් මාර්ගයකින් හෝ- සිදුනොවූ බවට) :D

එ කොහොම උනත් මකරා මාමා කොච්චර හොඳ කෙනෙක් උනත් අන්තිමයා උනා. අපි කාටත් හිතා ගන්න බැරි මෙච්චර කා අතරත් ජනප්‍රිය මකරා මාමා අන්තිම තැනට ආපු එකයි. ඒ ගැන කාට හරි අදහසක් තියෙනවද?

ඡන්ද තරගෙ පලවෙනි දවසෙන් පස්සෙ ඒක තුන් දෙනෙක්ගෙ තරගයක් උනා. ඒ පොඩ්ඩි නැන්දා, හා පැටික්කි නැන්දා හා පුසා මාමා අතර.

පළවෙනි දවස ඉවර වෙද්දි පොඩ්ඩි නැන්දා ඡන්ද 55 ක් අරගෙන පලමු තැනත් හා පැටික්කි නැන්දා ඡන්ද 19 ක් අරගෙන 7 වැනි තැනත් පූසා මාමා ඡන්ද 6 ක් අරගෙන අන්තිමයත් වෙලා හිටියෙ.

ඒ උනාට පුස මාමායි, හා පැටික්කි නැන්දයි නෙමෙයි උත්සහය අතඇරලා තිබුනෙ. ඒ දෙන්නා දෙවෙනි දවසෙ ඉදලම වාගේ තමන්ගේ ඡන්ද සටන එක එක විදිහට පටන් අරන් තිබුනා.

හා පැටික්කි නැන්දගෙ ඡන්ද සටන ගැන මෙතනින් අදහසක් ගන්ඩ පුලුවන්ද කියලා බලන්ඩ.

හොදම සිත්තරය ලෙස මගේ තේරීම හා පැටික්කීගේ සිත්තරේ.... සැලකිය යුතුයි: සියලු ප්‍රසිද්ධ ජාල කටයුතු වලින් තාවකාලිකව ඈත්ව සිටින මා හට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ හා නංගීගෙන් කිසිදු ආකාරයක අනියම් බලපෑමක් දුරකථන මාර්ගයෙන් sms මාර්ගයෙන් ඊ මාර්ගයෙන් චැට් මාර්ගයෙන් හෝ වෙනත් කිසියම් මාධ්‍යයක් ඔස්සේ කිසිදු බලපෑමක් නොවූ බව තරයේ අවධාරණය කරමි. පලි:- කෝ හාවිගේ සිත්තරේ කීවෙනියටද තියෙන්නේ මට ඒක හොයාගන්න බෑනේ.

ඕගොල්ල හිතන්නෙ පොඩ්ඩි නැන්දා ඡන්දෙ දාලා නිකං ඉන්ඩ ඇති කියලද. හිහ්.... එහෙනං ඕගොල්ලන්ට වැරදිලා. පොඩ්ඩි නැන්දා ඡන්ද ප්‍රචාරක වැඩේ කරගෙන ගියෙ වෙනම තාලෙකට. කොටින්ම තාල තුනකට.

ඒ ගැන හිතාගත්තැකි මේවා කියෝපුවාම. මේ පොඩ්ඩි නැන්දට ආපු මනාප තුනක්.

01. අනේ චූටි මහත්තයා කොලුවෝ මගේ මනාප ටික ඔක්කොම දාපන් පුතේ පොඩ්ඩී කෙලීට. ඒකී හොඳ එකී. චිත්තරෙත් ඉතින් පංකාදුයි නොවැ.

02. කලින් චන්දය ලකුණු කොරාට, මනාප ලකුණු කොරාන්ට අමතක වී ඇත. මගේ මනාප 3 ම පොඩ්ඩි නැන්දාටය. සැ.යු : මේ චන්ද මනාප, කිසිම බලපෑමකට, තර්ජනයකට, බියගැන්වීමකට, ඩප්පියකට යටත් නොවී ලකුණු කල ඒවා බව කියන්ට ඕනෑය. මොකද අපිත් ජීවත් වෙන්ඩ ආසය!

03. ඉහත හේතු නිසා එකෙකුටවත් ඡන්දයක් නොදෙමියි සිතුනද "ඔයා මනාපෙ දැම්මද? " කියල අහපු විදියට මගේ සියළු ප්‍රථිපත්ති, විවෙචන අමතක වී පැණි දෙකණින් බේරෙන්නට වීම නිසා ( නොවේ ) කුමාරිහාමිට මනාප දෙකක් හා තව එකක් දෙමි.

ඒ විතරක් නෙමේ අපේ පොඩ්ඩි නැන්දා වලව්වෙ ආවතේව කං කරගෙන ඉන්න රවි මුත්තට එක එක දේවල් කියලා උසිගන්නලා කෙහෙල්කොටුවට එවලත් තිබුනා.

එක වෙලාවකට මුත්තා ඇවිල්ලා,

අපක්සපාතව චන්දය,
ගනන් කරපු බුද්ධි ලමය,
මේ තුතිමල් ඔබට පුදමි,
යුක්තිය ඉටු උන හන්දා,

කියලා ගිහිං ආයෙ ඇවිල්ලා නැත්තම්,

අඩෝ බුද්දි, උඹ දැනගං,
දිනුවෙ නැතොත් එහෙම පොඩ්ඩි,
පෙති ගහනව කෙහෙල් කොටුව,
අනෙ අම්මප මේ ඇත්තයි,

කියලා කියාවියැ!

කොහොමද වැඩේ!

හැබැයි ඕගොල්ලන් ට හිතාගන්න පුලුවන් වෙයිද මන්දා ලකුනු 6ක් අරගෙන අන්තිම තැන හිටපු අපේ පූසා මාමා ඉරිදා හවස හතර වෙද්දි ඡන්ද 114 ගත්තෙ කොහොමද කියන එක.

කොම්පියුටර් මැසිම දිහා බලාගෙන ඉද්දි මට අන්තිමට මේක පෙනුනෙ පුසා මාමගෙයි, පොඩ්ඩි නැන්දගෙයි රේස් එකක් විදිහට.

ඡන්ද ප්‍රස්ථාරේ උඩින්ම හිටපු පොඩ්ඩි නැන්දා ටික ටික ඉහලට යද්දි, පුසා මාමා හොරෙක් පස්සෙ පන්නන බල්ලෙක් වගේ ඒ පස්සෙ පැන්නුවේ හරි ම ඉක්මනට. අන්තිම පැයේ දී පුසාමාමා බුලත් වැල නගින්නැහේ උඩට උඩට ආපු විදිහ බලාගෙන ඉද්දි මට පුදුමත් හිතුනා.

මං හිතන්නෙ පුසා මාමා ලග තිබුනු ප්‍රධාන තුරුම්පුව එයාගේ කල්‍යාන මිත්‍ර පුසෝ ටික වෙන්ඩ ඕනැ.

මම පළවෙනි තැනට තෝරන්නේ පූසගේ චිත්‍රේ, මම පළවෙනි තැනට තෝරන්නේ පූසගේ චිත්‍රේ කියලා ඉස්පිල්ලක් පාපිල්ලන් වෙනස් නැති ඡන්ද කීයක් ආවා කියලද ඕගොල්ල හිතන්නෙ. ආය කතා දෙයක් නැ ඔක්කොම ගෙඩිය පිටින් ම තනි මනාප.

අනිත් ප්‍රධානම කාරනාව පූසා මාමගෙ දුරදක්නා නුවන වෙන්ඩ ඕනැ. පුසා මාමා සිත්තර තරගෙට හිටපු කව්රුත් නොකරපු අලුත්ම ප්‍රචාරක උපක්‍රමයක් පාවිච්චි කලා. ඒ මේ දිනවල හුගක් ජනප්‍රිය වෙලා තියෙන බස්රේඩියෝ එකෙන් තමන්ගෙ අවසන් ඡන්ද සටන දියත් කරපු එක. බස්රේඩියෝ එකෙන් පූසමාමගෙ දැන්වීම ප්‍රචාරය උනා විතරයි, මෙන්න “සිටි සිටි“ ගාලා ඡන්ද එන්න ගත්තා.

මේ තියෙන්නෙ පුසා මාමාගෙ තියුණු ජයග්‍රහණයට හේතුවුන, ඊයේ දවසෙ බස්රේඩියොවේ ප්‍රචාරය වෙච්ච ප්‍රචාරක පටය.


තේරෙනවනේ අලුත් විදිහට හිතන අයට, අලුත් පාරවල් හෙයාගන්න අමාරුවෙන්නැ හුඟක් වෙලාවට.

කොහොම හරි අන්තිමට පුසා මාමා දිනුවා! හිප් හිප් හුරේ........!

දැන් මම මේ කතාව ඉවර කරන්න යන්නෙ.

තරගෙ ජයග්‍රහනය කරපු අපේ පුසමාමට ලැබෙන තැග්ග මේකයි. පුසමාමට පුලුවන් පුසාමාමා චුටි මහත්තයාගෙ වයසෙ ගත කරපු කාලෙ ගැන ලස්සන ලියමනක් ලියලා සිත්තරෙකුත් එක්ක අපිට එවන්න. අපි ඒක සයිබර් යායෙ පලකරනවා. පස්සෙ හැමදාටම බලන්න දකුණු පැත්තෙ විශේෂ ලින්ක් එකක් එක්කලා තියෙනවා.

කාලෙක ඉදන් හිතේ තිබුනු මේ වගේ සිත්තර තරගයක් සංවිධානය කරන බලාපොරොත්තුව සාර්ථකය විදිහටත්, හරිම විනෝදකාමී විදිහටත්, උද්යෝගීමත් විදිහටත් කරගෙන යන්න මම වගේ පුංචි ළමයෙකුට ඕගොල්ල දුන්නු උදව්ව මම කවදාවත් අමතක කරයි කියලා හිතන්න එපා! මේ තරගෙ පටන් ගත්තු වෙලාවේ ඉදලා අන්තිම වෙනකම් එකම විදිහට සයිබර් යාය එක්ක හිටිය ඕගොල්ල ඔක්කොටම ගොඩක් ස්තුතියි.

මිට පස්සෙ සයිබර් අවකාශයේ මොන විදිහෙ තරග තිබුනත් අපි පවත්වපු මේ තරගෙ, ඕගොල්ලන්ගෙයි මගෙයි හිත්වල ඇදපු සිත්තරෙ නම් කාටවත් කවදාවත් මකන්න බැරි වෙයි කියලායි මම හිතන්නෙ.

ඉතිං ඕගොල්ල මොකද හිතන්නෙ......?

...........................

-මීට කෙහෙල්කොටුවේ චුටි මහත්තයා

2011/08/25

එන්ඩලා සිත්තර තරගෙ පටන්ගත්තා | ඡන්දය දමන ස්ථානයට >>>

හොව් මුලින්ම ඔය මාමලා නැන්දලා කරුණාකරලා තම තමන්ගේ කම්පියුටර් වල තියෙන මවුස් එකේ මැද රෝදේ අතඅරින්ඩ.

දැං ‍රෝදේ කරකව කරකව සිත්තර හොයන්නැතුව කරුණාකරලා මේ ටික කියවලා ඉන්ඩ.

එදා මගේ ඇත්ත කීමේ පලවිපාක ගැන කියවෙන ලියමන කියෝලා සිත්තර ඇඳලා එවපු ඔක්කෝමට ස්තුතියි. මේ වගේ සිත්තර තරගයක් සංවිධානය කරන්න මම කාලෙක ඉදලයි බලාගෙන හිටියෙ. අද ඒකත් හරි ගියා.

දැං මෙහෙමයි!

එදා මං කිව්ව වෙලාවේ ඉදලා තනිකර එක දෙසීයක් විතර සිත්තර ආවා කිව්වොත් ඕගොල්ලං ඒක පිළිගන්නවද?

ඉතිං එහෙම ආපු සිත්තර වලින් අන්තිම හොඳ සිත්තරයි කියන්ඩ පුලුවන් ඒවා 9 ක් අවසාන වටයට තෝරගත්තා. ඒවා තමා පහල තියෙන්නෙ.

ඕගොල්ලන්ට තියෙන්නෙ කතාවේ ඒ ඒ තැන්වලට අදාල සිද්ධිය මතක් කරලා සිත්තරේ විචාරය කරන එකයි. ඒ එක්කම “මම නං වැඩිය කැමති මේකටයි“ කියලා ඡන්දයක් දෙන්නත් අමතක කරන්න එපා.

තෑගිබෝග

සිත්තර එවපු අයට-

ඕගොල්ලන්ගෙන් වැඩිම මනාප අරගෙන ජනප්‍රියම සිත්තරේ ඇඳලා එවපු කෙනාට කෙහෙල්කොටුවේ චුටිමහත්තයා අභියෝගතා කුසලානෙත් එක්කලා වටිනා තෑග්ගක් හම්බවෙනවා.

ඡන්දෙ දාන අයට-

ඒ විතරක් නෙමේ, අහවල් සිත්තරේ අහවල් විදිහට ඇඳලා තියෙන හින්දා අහවල් විදිහට පේනවාය, අහවල් විදිහට ආවානම් අහවල් සිත්තරෙත් නරක නෑය, අහවල් එක නං මට නියමය, අහවල් එකේ අහවල් එක නැති හින්දා අහවල් තැනට එන්ඩ බැරි වෙන්ඩ ඉඩ තියෙනවාය, අහවල්, අහවල්, අහවල් හේතු හින්දා මෙයාගෙ සිත්තරේනම් එක වෙන්ඩම ඕනැය වගේ ලස්සන විදිහට, විද්වත් විදිහට විචාරය කරන කට්ටියගෙනුත් හොඳම එක්කෙනෙක් තොරලා එයාටත් කෙහෙල්කොටුවේ චුටිමහත්තයා අභියෝගතා කුසලානෙත් එක්කලා වටිනා තෑග්ගක් දෙන්නයි මම කල්පනා කරගෙන ඉන්නෙ.

දැන් සිත්තර ප්‍රදර්ශණයට අපි යන්ඩ යන්නෙ. මං දැන් සිත්තර ඉදිරිපත් කරන්නෙ මට එවපු හැටියටයි. සිත්තරේ ඔරිමජිනල් සයිස් එකෙන් බලන්ඩ ඒක උඩ ක්ලික් කරලා ලොකු කරගන්ඩ පුලුවන්.

01. පළවෙනි සිත්තරේ අපිට යොමු කරලා තියෙන්නෙ කාලෙක ඉදං බ්ලොග් එකක් කරගෙන යන තට්ට මාමා කෙනෙක්. අපි එයාට කියන්නෙ කතන්දරකාරයා කියල. මේ තියෙන්නෙ එයාගේ සිත්තරේ. වෙලාව කියන්නෙ එයා සිත්තරේ අදින්න ඔහොම මෙහෙම තියෙද්දිලු අපායෙ කරන්ට් එක ගිහිං තියෙන්නෙ. මේක බලන්ඩ ඕනැම නං කරුණාකරලා ඕගොල්ලං ගානේ ටොච් එලියක් පත්තුකර ගන්ඩ වෙනවා.


02. මේ තියෙන්නෙ ඊලග සිත්තරේ. මේ සිත්තරේ අපිට යොමු කරලා තියෙන්නෙ හෙන ඈතක ජීවත්වෙන එක්කෙනෙක්. පිළිගන්න එයා තමා අපේ මකර රජදහනේ මකර අධිරාජ්‍යයා. ඇත්තටම අධිරාජ්‍යයක් මේවගේ සිත්තරයක් අඳින්න වෙලාවක් හොයා ගත්ත එක ගැනම අපි සතුටු වෙන්ඩ ඕනැ නේද? වැඩේ කියන්නෙ පලවෙනි පාර ඇන්ද සිත්තරේ රැගුම් පාලක මණ්ඩලෙන් කපලා දැම්මාලු. ඒත් එයා නෙමේයිලු සැලුනෙ. මේ තියෙන්නෙ දෙවෙනි පාර ඇන්ද සිත්තරේලු.


03. දැන් අපි යන්නෙ තුන් වැනි සිත්තරේ දිහාවට. ආ....මේ සිත්තරෙ අපිට යොමු කරලා තියෙන්නෙ වලව්වකින් වගේ පේන්නෙ. කෝ බලන්ඩ....ආ ඔව්නෙ..... මේ සිත්තරෙ අපිට එවලා තියෙන්නෙ....... පිළිගන්න....... පොඩි කුමාරිහාමි හෙවත් පොඩ්ඩි නැන්දා හුරේ..........


04. දැන් හතරවෙනි සිත්තරේ.....මේ සිත්තරෙ නම් මං අයින්කරන්ඩමයි ගියේ. මොකද මං කවදාවත් මේ වගේ පෙරේතකමට නෙක්ටො බොයි කියලා ඕගොල්ල හිතනවද? ඒත් අර පොඩ්ඩි නැන්දගේ වලව්වෙ යාලුවෙක් කිව්ව හින්දා කෝකටත් කියලා මං දැම්මා තරගෙට. ඔව් මේ සිත්තරේ අපිට එවලා තියෙන්නෙ පොඩ්ඩි නැන්දගෙ යාලු නැන්දා නීතා නැන්දා...........හුහුහුරේ......

05. දැන් පස්වෙනි සිත්තරේ.... කෝ බලමු. ආ....මේ තියෙන්නෙ පාට පාට සිත්තරයක්. ආනේ මේ සිත්තරේ එවලා තියෙන්නෙ කව්රු කියලද ඕගොල්ල හිතන්නෙ..... ඕගොල්ලන්ට නං කවදාවත් හිතාගන්ඩ බැරි වෙයි...ඒ හින්දා මං ම කියන්නම්.. ඔව් පිළිගන්න අපේ පුසා මාමා............................. පුරු පුරු පුරු.....ආහ් වැරදුනා....හුහ්හුහ් හුරෙ..........


06. දැං හයවෙනි සිත්තරේටයි වගකියන්න යන්නෙ......කෝ..... බලමු, ඔව් ඒකත් පාට පාට සිත්තරයක් මට පේන්නෙ මේ මාමනං කොම්පියුටර් ජිල්මාට් දන්න මාම කෙනෙක් වගේ...... ආනේ ඔව්මනේ........ මෙන්න පිලිගන්න වගමාමා................ සමාවෙන්ඩ! සමාවෙන්ඩ!! ගීතික දිල්රුක් මාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමා.......

07. හත්වෙනි සිත්තරේ ඇඳලා තියෙන්නෙ කව්රු වෙන්ඩැති කියලද ඕගොල්ල හිතන්නෙ.......ඒක දැනගත්තම ඕගොල්ල පුදුමවෙයි....... මොනා උනත් චුටිමහත්තයා වැදගත් විදිහට ඉඳගෙන ඉන්න විදිහ ඇඳලා තියෙනවා...... ඔව් පිලිගන්න හත්වෙනි සිත්තරේ හා පැටික්කීකීකී...........................නැන්දා........


08. ඔන්න දැං අට වෙනි එක...... අනේ මේක දැක්කම නං මගේ ඇහැට කඳුලු ආවා. මේකෙ තිබ්බ රොඩ්ඩක් ඇහැට ගිහිං. මොනා නැතත් හඹරාදූවේ නැන්දගේ හැට්ටෙ නං බලාහිටිය වගේ ඇඳලා තියෙනවා........කෝ.... මෙන්න පිලිගන්න සිත්තරෙට උපන් හපං....... උන්නැහේ මාමා පිලේ පැඳුරෙන්......

09. ඔව් දැන් තියෙන්නෙ වාසනාවන්ත අන්තිම සිත්තරේ..... මේ සිත්තරේ අපිට ගෙනැල්ලා දුන්නෙ අපි සිත්තර බාර ගන්න එක නවත්තන්ඩ ඔහොම මෙහෙම තියෙද්දියි.....ඒත් අයින් කරන්නෙ කොහොමද අප්පා මාව මෙච්චර හුරුබුහුටියට ඇඳලා තියෙද්දි..... ඒ හින්දා පිළිගන්න...... ඔව්....... අපේ අන්තිම සිත්තරේ පැතුම් හර්ෂන මාමා......හුරේ...........

ඔන්න එහෙනම් සිත්තර ටික හඳුන්වලා දීලා ඉවරයි. කුදු රම්බෝ! මගේ උගුරත් මොනාදෝ වෙලා මේවා හඳුන්වලා දීලම. එහෙනම් ඔන්න මගේ රාජකාරිය ඉවරයි. දැං තියෙන්නෙ ඕගොල්ලගෙ හරිය. ඒ මං මුලින් කිව්ව විදිහට සිත්තර ටික තෝරලා දෙන එක.

දැන් ඕගොල්ලන් පොරකන්නැතුව පෝලිමේ ඇවිදින් ඡන්දෙ දාලා යන්ඩ. අහවල් විදිහට විචාරයකුත් තිබුනොත් ඒගොල්ලන්ටත් තෑගි දිනා ගන්න පුලුවන් වෙයි. ඡන්දෙ දාන්න පුලුවන් අන්තිම වෙලාව ඉරිදා හවසින් ඉවර වෙනවා.

හරි! දැනට මම නවතිනවා. බලමු කව්ද දිනන්නෙ කියලා. ස්තුතියි!

.........................

-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා

2011/08/24

පොතේ නම | සිත්තර තරගෙ අතරතුර!

අද මම මේ ලියමන ලිව්වෙ වැදගත් කතාවක් කියන්නයි.

මගේ නෙක්ටෝ ලියමනට මේ වෙද්දි සිත්තර ලැබීගෙන යන අතරතුර මේ කතාව කියන්න මට පොඩි වෙලාවක් ලැබිච්ච එක ලොකු දෙයක්.

නෙක්ටෝ කතාවේ සිත්තර බාර ගන්න දවස ටිකක් ඉක්මන් කරන්ඩ උනා.

සිත්තර බාර ගන්න අන්තිම දවස අද!

ඒ හින්දා සිත්තර හැකි ඉක්මනින් එවන්න. බ්‍රහස්තින්දා උදේම තරගෙ පටන් ගන්නවා. හොදම සිත්තර ටික කතාවේ අදාල තැන්වලට දාන්නයි බලාපොරොත්තුව. හැබැයි හොඳම සිත්තරේ තෝරන්න ඕනෙත් ඕගොල්ලමයි! වැඩි විස්තර එදාට.

දැන් වැදගත් කතාව පටන් ගන්න යන්නෙ.

එදා කිව්ව වගේ සයිබර් යාය බ්ලොග් එක කරගෙන යන්නෙ හතරදෙනෙක් එක්කහු වෙලා කියලා ඕගොල්ල දැනටමත් දන්නවා ඇති.

ඒ,

01.මම.

02.ටිකිරි

03.විදෙස් චිත්‍ර ශිල්පියා.

04.කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

01. මම නං වැඩි දෙයක් ලියන්නැ. මැදින් පැන පැන කුරුලු හමුදාවෙ විස්තරයි, මගේ කතා කියලා ලේබලයක් හදාගෙන එදිනෙදා වෙන දේවල් වල විශේෂ දෙයක් තිබුනොතින් ලියලා දානවා ඇරෙන්න.

02. විදෙස් චිත්‍ර ශිල්පියා හින්දා තමා සයිබර් යායට පොඩි වෙනස් කමක් ලැබුනෙ. එයා එදා දවසට අදාල කතාව කියෝලා පටස් ගාලා මවුස් එකෙන් බලිකුරුට්ටක් ඇදලා ලියමනට පොඩි ගතියක් අරං දෙනවා.


03. ටිකිරි තමා සයිබර් යායට ගත්තු අන්තිම එක්කෙනා. ලියන්නෙ අමුතු ඒවා. ගොඩක් ඒවා මගෙන්ම හොරා ගත්තුවා. මෙයා කෙහෙල්කො‍ටුවෙ චූටිමහත්තයගේ වයසෙ උනාට ජීවත්වෙන්නෙ වර්තමාන කාලෙ.

04. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා කියන්න දන්නෙ, 1988 න් විතර පස්සෙ වෙච්ච කතා. ඒ කාලේ එයා ජීවත් වෙච්ච ගමේ ගොඩේ විස්තරයි, යාලුවන්ගෙ විස්තරයි තමා සයිබර් යායෙ එයා ලියන්නෙ. සයිබර් යාය කියලා බ්ලොග් එකක් තියෙනවා කියලා වැඩිපුර දෙනෙක් දැනගත්තෙත් ඒ කතා වලින් මං හිතන්නෙ.

මගේ කතා කැටගරියෙ තියෙන දේවල් මම ලියන්නෙ සාමාන්‍ය විදිහට. හරියට ලඟ ඉන්න යාලුවෙකුට දෙයක් කියන විදිහට.

හැබැයි ටිකිරි එහෙම නෙමේ. එයා ලියන්නෙ ලියන බාසාවෙන්මයි. ව්‍යාකරණ නීති රිති දන්න හැටියට පිළිපැදලා. එයා කියන හැටියට “මම“ කියලා පටන් ගත්තොත් ‘මි“යන්නෙන් අවසන් වෙන විදිහට. ඒ කියන්නෙ “මම හේතුහාමි“ වගේලු. “අපි අපේ ගමේ ගම්මු“ වගේ දේවල්ලු. සරළ ව්‍යාකරණ නීති පිලිපැදලාලු.

හැබැයි කෙහෙල්කොටුවේ චුටිමහත්තයා කියන චරිතේ මට පුලුවන් හැටියට ගොඩ නගන්න නම් මම ටිකක් උනන්දු උනා. මම පොත් පත් කියෙව්වා. ඒ පොත් පත් වල චරිත ගොඩ නගලා තියෙන හැටි අවබෝධ කරගන්න උත්සහා කලා. කතාවක් කාගෙහරි හිත දිනා ගන්න හැටියට ලියන්නෙ කොහොමද වගේ දේවල් හොයලා බැලුවා. සමහර තැන් වලට ඒවා ගැලපුනා නියමෙට.

දැං ඕගොල්ලන්ට උනත් තේරෙනවා ඇති, චුටිමහත්තයා මුලින් කතා කියපු විදිහයි දැන් කියන විදිහයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. සමහර වචන පාවිච්චි කරන එක සම්පුර්ණයෙන්ම නවත්තලා දාලා තියෙන්නෙ. ඒ වෙනුවට අලුත් වචන පොත් පත් වලින් වගේම, එදිනෙදා අපි කතාබහ කරන තැන් වලිනුත් හොයාගත්තා.

කාටහරි ඕනෙනම් මං මොනවගේ කතා කියෝලද මේ විදිහට ලියන්න උත්සහ ගන්නෙ කියලා හොයාගන්න අන්න මගේ ප්‍රොෆයිල් එකේ ඇති මං කියොපු කතා පොත් දෙක තුනක විස්තර. ඒ විස්තර මම දැම්මේ බ්ලොග් ලියන්න ගත්තු මුල්කාලේ කියලා ඕගොල්ල දන්නවා ඇති.

දැං මං කියන්න යන්නෙ මේකයි.

හැබැයි මට විතරක් නෙමේ!

අපි හැමොටම තියෙනවා ලස්සන පොඩි කාලයක්. ඒ කාලේ අපෙන් පස්සෙ අයට එන්නෙ නැ. පුලුවන් හැමෝම අපෙන් පස්සෙ එන අයට කියවන්න හරි, අපිටම කියෝලා අපේ අතීතය මතක් කරලා රස විදින්න හරි අපේ පොඩි කාලේ ගැන ලියවනවම් මම කැමතියි.

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. අපි එදා පොඩි කාලේ හිතපු හැටියට හිතන්න විතරයි.

පොඩි උන් මොන ලෝකෙ හිටියත් පොඩි උන්මනෙ!

එයා ලංකාවේ හද්ද පිටිසර හිටියත්, ඉන්දියාවේ හිටියත්, ඇමරිකාවේ හිටියත්, රුසියාවේ හිටියත් පොඩි එකා හිතන්නෙ පොඩි එකා විදිහට. ඒ හින්දා ඔයා පොඩි කාලේ කොහේ හැදුනා වැඩුනත් ලස්සන කතා ඇති පොත් පිටින් ලියන්න. ඒවා ලියන්න. එතකොට අපිට කියවන්න අලුත්ම අලුත් කතා ගොඩක් එකතු වෙයි.

බොරලු රොකට්ටුවේ කතාව, ටොපිකොල හතලිහේ කතාව, මගේ මීයා සිප් එකට අහුවෙච්ච කතාව, මගේ උත්පත්ති කතාව, මගේ පළමු රාජකාරී ලියුම වගේ දේවල් ඒ කාලේ මටම වෙච්ච දේවල්! වෙන කාටවත් නොවිච්ච දේවල්. කිසිම ළමා පොතක පතක නැති දේවල්. කොටින්ම මම කියන්න කලින් කව්රුත් දන්නැති දේවල්. පොත පත කියවන අය හැටියට ඒ ගැන ඕගොලල් හොඳටම දන්නවා ඇතිනෙ.

කොහොමහරි ඔයාලටත් ඇති ඒ වගේ කතා ඕනැ තරම්!

ඉතිං ඔයාලත් ඒ කාලේ ගැන ලියන්න. හැබැයි එහෙම ලියපු කතා කියෝපු කව්රු හරි ඔයාට කිව්වොත් “අපෝ මේ ලියලා තියෙන්නෙ පොතක තිබුනු එකක කොපියක්නෙ" කියලා, ඒ ගොල්ලන්ට කියන්න තියෙන්නෙ තමන්නෙ පොඩි කාලේ මතක් කරලා බලන්න කියලා විතරයි.

ලියන විදිහ ලස්සන කරගන්න එක පොත පත කියෝලා කරගන්න පුලුවන්. සමහරුන්ට නම් උපතින්ම ඒ හැකියාව තියෙනවනේ.

මම නං ඉස්කෝලෙ යන කාලේ රචනාවක් වත් හරියට ලියන්න උනන්දුව තිබුනු කෙනෙක් නෙමෙයි. මේ බ්ලොග් ලියන්න තියෙන කැමැත්ත හින්දමයි මම එක එක පොත් කියවලා එක විදිහකට ලියන්න පුරුදු උනේ. හොඳ වෙලාවට අම්මා ඒ කාලේ ඉඳලා මට පොත් කියවන්න පුරුදු කරලා තිබුනා.

පොත් කියවන කව්රුත් දන්න එක පොතක් තියෙනවා. මමත් පුස්තකාලෙන් ඒ පොත අරගෙන කට පාඩම් වෙනකම් කියොලා තියෙනවා. ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශණය දවසෙ මම එයින් එකක් ගත්තා හැමදාමට මා ලඟ තියා ගන්න.

ඒ පොත මා ගාව විතරක් තියෙන මැජික් පොතක් එහෙම නෙමෙයි. පොත් කඩේකට ගිහිල්ලා ඕන කෙනෙකුට ගන්න පුලුවන් පොතක්. ඒ හින්දා ඒ පොත ගැන මම මීට කලින් විශේෂයෙන් සඳහනක් කරලා නැති උනාට කියන්න ඕනේ තැන පැහැදිලිව කියලා තියෙනවා.

චුටි මහත්තයා හිතන හැටි ඕගොල්ලන්ට හරි විදිහට දැනෙන්න, ලියන්න මම ඉගෙන ගත්තෙ ඒ පොතෙන්.

ඒ හින්දා මම ඒ පොතට හරිම ආදරෙයි!

කාට හරි කියන්ඩ පුලුවන්ද ඒ පොත මොකද්ද කියලා?

..........................

-බුද්ධි.


...................................................................

Related Posts Plugin for WordPress, Blogger...